පාසල් ඉතිහාසය


අතීතයක තතු.....

රට  අභ්‍යන්තරයේ පිහිටි මධ්‍යම කඳුකරය කඳුවැටිවලින් සහ සානුවලින් යුතු අතිශයින්ම ව්‍යාකූල භූ විෂමතාවයන් පෙන්වන අතර ඒ නිසාම ඉතා දැකුම්කළු ප්‍රදේශයන් බවට පත්ව ඇත. සමනළ, නමුණුකුල, පිදුරුතලාගල හා නකල්ස් යන කඳු පන්තීන් වලින් වට වී ඇති මහනුවර සානුව උස 600 -900 අතර විහිදෙන බටහිර අර්ධය ඔස්සේ  මහවැලි ගඟ ගලා බසියි.

      1815 දක්වා විදේශිකයන්ට යටත් නොවු මලය රට නම් වු මධ්‍යම කඳුකරයේ බොහෝ සිංහල රජවරුන්ගේ පාලන මධ්‍යස්ථානය ලෙස පැවතුනේ මහනුවර නාගරික ප්‍රදේශයවන අතර විශේෂයේන්ම වළගම්බා රජුගේ රාජධානිය පැවති සමයේ ප්‍රධාන නගරයක්ව පිහිටි කටුගස්තොට නගරයේ සිට සැතපුම් 4 ක් පමණ දුර සීමාවක මෙම පාසල පිහිටා තිබේ.

දේශපාලනික වශයෙන් බලන කල සිංහල රාජධානි යුගයේ පටන්ම විශේෂ අවධානයට ලක්වුණු ප්‍රදේශයක් ලෙස මෙම පාසල පිහිටි ප්‍රදේශය හැදින්විය හැකිය. රජවරුන්ගේ විශේෂ සැලකිල්ල යටතේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කර ඇති අතර අධ්‍යාපනය ද ඒ හා නිතර බැදී පැවත ඇත. එකල රාජ්‍යත්වය සහතික කළ දළදා වහන්සේගේ අයිතිය හේතු කොටගෙන ප්‍රදේශය දේශපාලන බලපෑමට ලක්වූයේ දළදා මාළිගය නාගරික ප්‍රදේශය තුළ පිහිටීම නිසාය.

ඓතිහාසික හා සාමාජික වශයෙන් සලකා බලන විට 1815 දී අවසාන සිංහල රාජධානිය වූ කන්ද උඩරට රාජධානිය ද ඉංග්‍රීසින්ට යටත්වීමත් සමඟම ඉංග්‍රීසීන්ගේ අවශ්‍යතා සපුරන අධ්‍යපන රටාවක් මෙම ප්‍රදේශවලද ව්‍යාප්ත විය. බෞද්ධාගමික සිංහල රාජ සංස්කෘතියට හැඩ ගැසුනු ළමුන්ට එම අධ්‍යාපන පද්ධතිය තුළ අධ්‍යාපන අවස්ථා හිමි නොවීය. එහෙත් 19 වන සියවස අග භාගයේදී ඇතිවූ ජාතික ප්‍රබොධයත් සමග සැලකිය යුතු වෙනස්කම් සමාජ රටාවේ සිදුවූ අතර අධ්‍යාපනයද එයින් වෙන්වූයේ නැත. කෙසේවූව ද මෙම විදුහල පිහිටි අධ්‍යාපන කොට්ඨාසය ද මෙම මිෂනාරි බලපෑම්වලට යටත්වූ බවට සාක්ෂි ඇත.

ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැන කරගත් මෙම ප්‍රදේශයේ ග්‍රාමීය ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් වී තිබුණේ තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට මහනුවර නගරයට යාමට සිදුවීමයි. 1930 දශකයේ මුල් කාලය වන විට මෙම ප්‍රදේශයේ අත්තරගම හා මැදවල යන ගම්වල ක්‍රිස්තියානි පාසල් පැවතුන ද බෞද්ධ දරුවනට පාසලක් නොතබුණි.මේ බව තේරුම් ගත් එවකට ගමේ ප්‍රභූ පැලැන්තියේ ඩි.බි. විල්අමුණ මහතා, අයිසෙක් වීරතුංග මහතා, පීරිස් සිංඤෝ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ද අත්තරගම විහාරවාසීන් ශ්‍රී පියරතන නායක ස්වාමීපාදයන්ගේ දායකත්වය ද ඇතිව රැස්වීමක් පවත්වා ප්‍රදේශයේ බෞද්ධාගමික දරුවන්ට පාසලක් ආරම්භ කිරීමට තීරණය කර ගත්හ. ඒ අනුව අත්තරගම රජමහා විහාරවාසී ශ්‍රී පියරතන හිමියන් විසින් පන්සල් භූමියට අයත් ඉඩමක ගොණිගොඩ ශ්‍රී පියරතන විදුහල ආරම්භ විය. විදුහලට මෙම  ශ්‍රී පියරතන යන නම ලැබුණේ අත්තරගම පොත්ගුල් විහාරවාසී නායක ස්වාමීන්වහන්සේගෙන් මෙම පාසල් භූමිය ලැබුන නිසායි. ප්‍රභූ පිරිසක් අනෙකුත් ගම් වැසියන්ගේ ආධාරයෙන් පොල් අතු සෙවිලිකරන ලද කුඩා ගොඩනැගිල්ලක් තනවා 1930.01.30 වන දින මෙම පාසලේ මූලික අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇත. ආරම්භයේ දී ළමුන් සංඛ්‍යාව 10 කි. පාසල ආරම්භයේ දී ළමුන්ගේ මුල් ගුරුතුමා ලෙස කටයුතු කරඇත්තේ “අලගොඩ මහත්මයා” ය. ආරම්භයේ දී වෙනත් ගුරුවරු පාසලේ සිටියේ නැත. මුල් ගුරුතුමා පමණක් සේවය කර ඇත. මුලින්ම තිබූ ගොඩනැගිල්ල පිහිටා තිබූ ස්ථානයේ වර්තමානයේ නැටුම්, සංගීත කාමර පිහිටි ගොඩනැගිල්ල දක්නට ලැබේ. පාසලට මුලින්ම ඇතුළත් කරගත් ළමයා ලෙස දුංකොටුවේ ගෙදර අලි බලන අප්පුහාමිගේ පුතා “රත්නායක”  සිසුවා හැදින්විය හැකිය.

එම කාලයේ තිබුණු ගොඩනැගිල්ල කණු සිටුවා පිදුරු වසන ලද්දකි. ආරම්භයේ දී සිටි ගුරු සංඛ්‍යාව 01 ක් පමණක් බව මුලින් කියන ලදී. ඒ මහතාට ගෙවන ලද වැටුප රු.20.00 ක් බවත් බරිගම ආරියදාස මහතා ස්වකැමැත්තෙන් එම වැටුප ගෙවූ බවත් සඳහන් වෙයි. 1936 දී පමණ පරණවිතාන ශාලාව (අඹ ගහ ළඟ ශාලාව) තනවා ඇත. මේ සඳහා අවශ්‍ය උළු 9000 ක් ඇඹිල්මිගමෙන් ගෙන්වා ඇත. ඒ කාලයේදී උළු 1000 ක මිල රු. 8.00 ක් විය. ගොන් කරත්ත 09 කින් පෙරහැරක ආකාරයට මේ උළු ගෙන්වා ඇති බව පැවසේ. අලගොඩ මහතාගෙන් පසුව එම්.කේ.යු. බණ්ඩා මහතා විදුහලේ විදුහල්පති වශයෙන් පත්වී ඇත. ඒ කාලයේ දී එම්.කේ. හීන්මැණිකේ මහත්මිය උපගුරුවරියක් වශයෙන් කටයුතු කර තිබේ. එතුමිය පාසලේ වැඩභාරගෙන ඇත්තේ 1939 මැයි මස 04 වෙනිදා ය.ඉන්පසු මධ්‍යම දිශාභාර ප්‍රධාන පාඨශාලා පරීක්ෂක තුමාගේ 1936.10.06 දින දරණ දැන්වීමේ ප්‍රකාශ කර යු. කිරිමැණිකේ මහත්මියට උපගුරුකමේ වැඩ තාවකාලිකව භාරදී තිබේ. 1939 අවුරුද්ද වන විට පාසලේ සිසු සංඛ්‍යාව 138 ක් වී ඇත. 1938 දී මෙම පාසල රජයට පවරාගෙන තිබේ.මේ කාලය වන විට පාසලේ ගොඩනැගිලි සංඛ්‍යාව 02 කි.පාසලේ මුල් යුගවල දී වතු වැඩ සාර්ථකව කි්‍රයාත්මක වී තිබේ. එයින් ලැඛෙන ඵලදාව අලෙවිකර සිසු සුභසාධනය සඳහා යොදවා තිබේ. ආරම්භක කාලයේම නොතිබුණත් 40 දශකය ආරම්භයේ සිටම වාගේ විදුහලේ ගුරු නිවසක් තිබී ඇත.

විදුහලේ සිසුනට වැදුම්පිදුම් කිරීමට සුදුසු ස්ථානයක් මුලින්ම නොතිබුණත් පසුකාලීනව එයද සම්පූර්ණ විය. ඒ 1955 නොවැම්බර් මස 11 වෙනිදා බුද්ධ ප්‍රතිමා මන්දිරය විවෘත කිරීමෙන් පසුය. 1961 වර්ෂයේදී ගෝණිගොඩ පාඨශාලාව මහා විද්‍යාලයක් බවට උසස් කර තිබේ. ඉන්පසුව ක්‍රමක්‍රමයෙන් පාසල සංවර්ධනය වෙමින් පැමිණ තිබේ. 1957 දී පමණ උසස් පෙළ විෂයයන් ඉගැන්වීම ආරම්භ කර ඇත. මුලින්ම මෙම පාසලෙන් විශ්වවිද්‍යාලයට ගිය සිසුවා වූයේ ආර්.බි.සෙනෙවිරත්නයි. ඒ 1964 වර්ෂයේය.

පි. වීරවර්ධන විදුහල්පති තුමාගේ කාලයේදී පාසල විශාල ප්‍රගතියකට ලක් වී ඇති බව පැවසේ. මේ කාලයේ දී පාසලේ පිට්ටනිය පුළුල් කිරීමේ කටයුතු කර ඇත. මේ සඳහා කැනඩාවෙන් ආධාර ලබාගෙන තිබේ. 1960 දශකය වන විට නළ ජලය පාසලට ලබාගෙන තිබේ. 1963 වර්ෂය වන විට පාසලේ බාලදක්ෂ කණ්ඩායමක් විය. ඒ අය විසින් පාසලේ විවේක කාලයෙ තේ විකිණීමේ ව්‍යාපෘතියක් පවත්වාගෙන ගොස් තිබේ. 1963.09.19 දින සිට මෙම පාසලේ පැරණි නාමය වූ මහ/ගෝණිගොඩ මහා විද්‍යාලය වෙනුවට ශ්‍රී පියරතන මහා විද්‍යාලය යන නම භාවිතයට පැමිණ ඇත.

පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක සිසුන් දහදෙනෙකුගෙන් යුක්ත මුල් ගුරුතුමා පමණක් ඉගැන්වීම් කටයුතු කරමින් ආරම්භ කල මෙම පාසල අද වන විට විශාල ප්‍රගතියක් දක්නට ලැබේ. පාසලේ තෙමහල් ගොඩනැගිල්ලක් හා තවත් ගොඩනැගිලි අටක් අද වන විට ඇත. සිසු සංඛ්‍යාව 1250 කට ආසන්න සංඛ්‍යාවක් ඇත. උසස් පෙළ කලා, වාණිජ විෂයධාරාවන් හැදෑරීමට අවස්ථාව ඇත. පාසලේ විදුලිය පහසුකම් හා ජල පහසුකම්ද ඇත. තවද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් හාරිස්පත්තුව අධ්‍යාපන කලාපයේ වැඩිම සිසුන් ගණනක් සමත් වන පාසල බවට පත්ව ඇත. පාසලේ සෞන්දර්ය, ක්‍රීඩා, පේෂ කර්මාන්ත, කෘෂිකර්මය යන අංශ දියුණුමට්ටමකින් පවතියි. තවද විෂයබාහිර කි්‍රයාකාරකම් ලෙස බාලදක්ෂ කටයුතු, පරිගණක ඒකකය, පුස්තකාල කටයුතු, සමිතිසමාගම් ආදී නොයෙකුත් කටයුතු ක්‍රීයාත්මකව පවතී. වර්තමානය වන විට විදුහල්පතිතුමා ඇතුළුව ඇදුරු මඩුල්ල 54ක් දක්වා වර්ධනය වී ඇත. 1996.01.04 දින සිට මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත්වීමෙන් පසු විදුහල්පති පි.ඒ.එස්. අල්විස් මහතාගේ මූලිකත්වයෙන් විවිධාකාර අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.එසේම වර්තමාන විදුහල්පති වන සුනිල් දයානන්ද මහතා ද නිරතුරුව සිසුන්ගේ අධ්‍යාපන ප්‍රගතියම මූලික කරගෙන සිසුන් විනයානුකූල ක්‍රමවත් පුරවැසියන් බවටපත් කිරීමට පුරෝගාමීව කටයුතු කරයි.

කටුකොහොලින් පිරි දුෂ්කර මගක ගමන් ගත් ගෝණිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය කාලයාගේ ඇවෑමෙන්, කැපවීමෙන් කටයුතු කළ පුද්ගලයන් හා විවිධ උදව් උපකාර මධ්‍යයේ නොසැලි අද පවතින තත්…යට පැමිණ තිබේ.

මෙවන් ගමනක් තුළින් සංවර්ධනය වූ මෙම විදුහල තුළින් අනාගතයේ ද සදහසක් විද්වතුන් මේ පුංචි ලංකාවට හිමිවෙනවාට කිසිම සැකයක් නොමැත. ඒ සඳහා වෙහෙසෙන ගුරුභවතුන්ටත්, දෙමව්පියන්ටත් ගෞරවය හිමිවිය යුතුය.